ගලේවෙල සහ ත්රිකුණාමලයේ බස් රථ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ගලේවෙල සහ ත්රිකුණාමලය ප්රදේශවලදී සිදු වූ වෙනම බස් රථ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
දඹුල්ල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්රදේශයේදී ඊයේ (17) රාත්රියේ සිදුවූ අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. කුරුණෑගල දෙසට ධාවනය වූ පාපැදියක් දකුණට හැරවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ දඹුල්ල ප්රදේශයේ පදිංචි අදාළ පාපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර, ඊයේ (17) පස්වරුවේ ත්රිකුණාමලය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ද තවත් බස් රථ අනතුරක් සිදුව ඇත. කල්මුණේ සිට ත්රිකුණාමලය බලා ධාවනය වූ බස් රථයකින් මගීන් බස්සවා එය ආපසු හරවමින් සිටියදී, බස් රථය ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පදිකයා ත්රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙතෙක් අනන්යතාව තහවුරු නොවූ එම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ත්රිකුණාමලය පොලිසිය ඉදිරි විමර්ශන මෙහෙයවයි.
අපගේ නවතම පුවත් සහ උණුසුම් පුවත් දැනගන්න.